Friday, January 6, 2012


ප්‍රේමයනම්...රාගයෙන් තොර...සඳ එලිය සේ...... දැන්නම් රාගයක් නැත්තේමත් නැහැ...

තව මාස තුනකින් අපි හමුවෙලා අවුරුදු 22 ක් වෙනවා. අපි මුණගැහුන කාලෙම අපිට දුවෙක් එහෙම ලැබුණානම් මේ වෙනකොට කසාදයකුත් බන්දලා දෙන්න තිබුණා. ඒත් ඉතින් මොනවා කරන්නද? ඔයාව ජීවිතේටම දැකලා තියෙන්නෙත් දවස් තුනයි. කවදාවත් අතින්වත් අල්ලලා නැහැ. ඒත් අපි තාමත් ආදරයෙන් බැඳිලා.

අවුරුදු 22 ක් කියන්නේ රාත්තල් 120 ක් බර තිබුන මම රාත්තල් 185 ක්  බර වෙන්න තරම් ලොකු කාලයක්. මූන යන්තම් රැලි වැටිලා, නිකට දෙකක් වෙලා, නර කෙස් පැහිලා.... අපි මැදිවියට පත් වෙලා. මැදිවියෙන් මහලු වියට යනකනුත් අපිට ආදරෙන් ඉන්න පුළුවන් වෙයි නේද ඉස්කෝලේ හාමිනේ?

ඔයා කිව්වා වගේ මගේ වරද මම පස්සෙන් ආව නැති එකමද ඉස්කෝලේ හාමිනේ? මම නම් හිතන්නේ මේක තමයි අපේ දෛවය. මට මාරුවක් ලැබිලා යන්නයි ඔයා “කවදාවත් වෙනස් කරන්න බැහැ” කියපු හේතුවක් උඩ මට අකමැති වෙන්නයි ... මට හිතා ගන්නත් බැහැ අපි ඒ විදියට වෙන් වෙලා මේ විදියට ආයෙත් මුණගැහුනේ ඇයි කියල. සමහර විට අපි ඒ දවස් වලම එකතු වුනානම් මේ වෙනකොට අපිටත් අපිව එපා වෙලා වෙන්නත් පුළුවන්. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියනවනේ. එහෙමවත් හිත හදා ගනිමු. මට හිතෙනවා දැන් අපිට ඉස්සරටත් වඩා නිරවුල්ව ආදරය කරන්න පුළුවන්. අපිට අපි ගැන තණ්හාවක් ඉරිසියාවක්‌ ලොකු බැඳීමක් නැහැනේ. එහෙම බැඳීමක් ඇතිකරගන්නත් අපිට අවසරයක් නැහැනේ.

අපිට වෙන වෙන අයත් එක්ක, ඔයාට ඔයාගේ හබීවයි මට මගේ ගෙදර උන්දැයි ඇර අපිට තවත් කොච්චර බැඳීම් තියෙනවද? මුළු ලෝකයම අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා හොඳ මවක් මම හොඳ පියෙක් විදියට ජිවත් වෙනවා දකින්න. ඒ කවුරුවත් අපි ආදරයෙන් හිත සතුටින් ඉන්නවද දන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, ඒ අයට ඒකෙන් ඇති වැඩකුත් නැහැ. අපි අපේ වගකීම් හරියට කරන තරමට අපේ අවට ඉන්න අයට අපෙන් වෙන්න තියෙන කරදර අඩුයි. ඒකයි ඒ අය අපි  හොඳ මවක් හොඳ පියෙක් විදියට විතරක් දකින්න කැමති. ඒ වුනත් ඉස්කෝලේ හාමිනේ, ඒ කවුරුවත් නොදන්නා සුන්දර රහසක් අපිට තියෙනවා නේද? ඒක රහසක් නිසාම තව තවත් සුන්දර වෙනවා. පාන්දර 4 ට නැගිටලා call එකක් ගන්න එකම සුන්දර දෙයක් නෙවෙයිද? එහෙම විනාඩි 2 ක් කතා කලත් ඒ මුළු දවසම ඊට පස්සේ කොච්චර සැහැල්ලුවෙන්ද ගෙවිලා යන්නේ. ඒ සැහැල්ලුවම ඇති නේද අපිට අපේ ජිවිත බර අමතක කරන්න.

ඒක නිසා තමයි මම හැමදාමත් කියන්නේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

No comments:

Post a Comment