Tuesday, January 3, 2012

තුන්වෙනි ඉස්පිරිතාලේ: මෙතැනදී තමයි මගේ ජිවිතයේ කරපු “කළු” වැඩකට අත ගැහුනේ. මම කරපුදේට සාධාරණ හේතුවකුත් නොතිබුනාම නෙවෙයි. ඒත් මම මගෙ වැරදි වහගන්න නිදහසට කරුනු කියන්නෙ යන්නෙ නැත්තේ මේක අවුරුදු 2 ක් ම ඇදුන කතාවක් නිසා. මීට සමාන්තරව සිද්ධ වෙච්ච මම මුලින් ලියපු "සුදු" කතාවේ අක්කට කලා වගෙ මට ඕනනම් මේකත් නවත්වන්න තිබුන. ඒත් ඒක එහෙම වුනේ නැහැ.

ඔයා හිතුව වගෙම මේකත් හෙදියකට පෙම් කලෙමි වර්ගයෙ කතාවක්. ඉස්පිරිතාලෙ ඉන්න අපි හෙදියන්ට නැතුව ඉස්කෝලේ හාමිනේලට පෙම් කරන්නයැ? කෙරුවත් ඉතින් ඉස්කෝලේ හාමිනේලා අපිට කැමති වුනේ නැහැනේ. (හැමදාමත් මෙහෙම අපිට මට වැරදිලා ඇති...)

මම වැඩ කරපු රෝහලේ හිටිය බොහොම කෙලිලොල් හෙදියක්. මම ඔය ගැන උනන්දුයි වගේ කියල කවුරු හරි මේ ළමයටත් කියල තිබුන. දන්නවනේ, මේ වගේ දෙයක් දැන ගත්තම වට පිටවේ අයටනේ උනන්දුව වැඩි. ඔයාගේ ගමේ හිටපු අයත් ඔයා කසාද බඳිනකම්ම මට ඔයා ගැන විස්තර දැන්නුවා. යන්තම් අහන්න විතරයි ඕන. මමත් ඉතින් වැරදුන කුරුමානම, එතකොට ඇඹුල් මිදි වගේ දේවල් කියල අමතක නොකර ඔබතුමිය ගැන හොයා බැලුවා.

ඒවා දැනට අමතක කරලා nurse නෝනගේ කතාවට යමුකෝ. මට අදටත් මතක නැහැ අපි කොහොමද කොහෙදිද මුලින්ම දැක්කේ, කොහොමද යාලු උනෙ වගෙ විස්තර. (සමහර අය නම් ඉස්කොලෙ තප්පෙට හේත්තු වෙල කතා කරපු හැටි මට මතකයි.) ඒ nurse නෝනත් මට වඩා වයස බව අනිත් එවුන් කියපු නිසාම මම ඇහුවම මට කිව්වෙ එයත් ඔයාගෙ වයසෙ කියල. මම ඒක එච්චර ලොකු පරතරයක් විදියට හිතුවෙ නැහැ. ඊට කලින් හිතුවෙ නැති මම දැන් එහෙම හිතන්නේ මොකටද? ඉතින් එයා මගෙන් බෙහෙත් ගන්න එනවා, ගෙදර යනකොට එක බස් එකකේ යනව වගෙ දේවල් තමා අපි දෙන්න අතරේ තිබුනේ. වැඩි දුර විස්තර ඕනනම් අහන්න, ආපහු මටම දමා ගහන්නෙ නැහැ කියන පොරොන්දුව පිට කියන්නම්.

ඔය අතරෙ මට මගෙ තීරනේ ගැන ආපහු හිතන්න ඕනේ නේද කියන දවස උදා වුනා. එයාගේ තාත්ත හදිස්සියේ නැති වුනා. එදා මම එයාලගේ ගෙදර ගියේ මිනිය ගෙදරට ගෙන්නත් කලින්. මෙයා ලඟට ඇවිත් අඩ අඩා ඇහුව කාරණයක් කියන්න තරහ වෙනවද කියල. ඔය වගේ වෙලාවක කවුද ඉතින් තරහ වෙන්නේ? දන්නවද කියපු කරනේ? එයා ඔයාටත් වඩා අවුරුදු 3 ක් වැඩිමහල් ලු. ඒ කියන්නෙ මට වඩා 7 ක්! මට කොහොමවත් ඒ වෙලවෙ අහන්න බැහැනේ ඇයි බොරු කිව්වෙ කියලවත් නැගිටලා එන්නවත්. එයාගේ තාත්ත නැති වෙච්ච දවසෙ තවත් දුකක් දෙන්න පුලුවන්ද? මට කියන්න වුනා ඒකට කමක් නැහැ කියල. මම දන්නව එයා මට ගොඩක් ආදරෙන් හිටිය කියලත්. සමහර විට අපි බැන්දනම් අපිට සතුටින් ඉන්න පුලුවන් වෙන්නත් තිබුන. ඒත් ඔය මම කියපු සිදුවිමෙන් පස්සේ මම තීරනය කලා මගෙ ඊළඟ ස්ථාන මාරුව බාරගන්න.

මාරුවිම ඇවිල්ලත් මාස ගානක් නොගිහින් හිටපු මම ඉක්මනටම කොළඹට මාරුවෙල ආව. ඊට පස්සෙත් අපේ සම්බන්දය ටික දවසක් තිබුන. මගෙ ජිවිතයෙ එකම එක පාරයි මම කාට හරි කෙලින්ම මේ සම්බන්දය නවත්වමු කියල තියෙන්නෙ. කෙල්ලෙකුගෙන් යාලුවෙමුද කියල අහනවට වඩා ගොඩක් අමාරුයි තරහ නොවී වෙන් වෙමුද කියල අහන එක. ඒත්... මම දවසක් ඒක එයාට කිව්ව. ත්‍රාසජනක සිදුවීම මුකුත් උනේ නැහැ. ඒත් ගොඩක් ඇඩුව කියල නම් ආරංචි වුනා. ඊට මාස 6 ක් වගේ ඇතුලත ඒ ළමයත් කසාද බැන්ද. මටත් ආරාධනාවක් එවල තිබුන. මම ගියේ නැහැ.

මට අන්තිමට ලංකාවට ගිය වෙලාවේ විනාඩි 2 ක් වගේ කාලෙකට එතුමිය හමුවුනා. ඒ අන්තිමට එයාව දැකල අවුරුදු 18-19 කට වගේ පස්සේ. එයා දැන් sister කෙනෙක්. පල්ලියෙ නෙවෙයි – ඉස්පිරිතලෙ. හස්බන්ඩ් pension අරගෙනත් අවුරුදු 2 ක් ලු. ඒ හැර මට එකම එක දවසක් ඒ දෙන්නම මරදානේ station එකේ පාලම උඩදි මුණ ගැහුනා. මාව හබිට අඳුන්වලාත් දුන්න, "මේ පීටර්" කියල. ඒ උන් දෙන්න බඳින්න කලින්.

එච්චරයි.

1 comment:

  1. මම අදමයි ආවෙ පීටර්. ඔන්න මෙම්බර් කෙනෙකුත් උනා. මම කැමති ශෛලියක් තියෙන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete