Tuesday, December 20, 2011


අද මම ලියන්න යන්නේ පරණ ගම කතාවක්.

ඔන්න එකමත් එක කාලෙක මුහුදු හතකටයි වනාන්තර හතකටයි කඳු හතකටයි එහා පුංචි ගමක් තිබුණා. මේ ගම තිබුනෙත් තවත් කන්දක් උඩ විශාල වනාන්තරයකට මායිම වෙලා. හැම ගමකම වගේ මේ ගමෙත් ගමරාලයි ගම මහගෙයි තමයි හිටියේ. ඊට අමතරව ඒ දෙන්නට සුදු ලස්සන පුන්චි දූ කුමරියෙක් හිටියා. මේ කන්දක් උඩ තිබුන ලස්සන ගමේ කඳු මුදුන් වල දුව ඇවිදිමින් දොළ පාරවල වතුරට පැන පැන මේ පුන්චි ගමදුව ඉතාම නිදහස් ජිවිතයක් තමයි ගත කලේ. කාලය ගෙවිලා ගිහින් මේ ගමදුව ලස්සන තරුණියක් බවට උස් මහත් උනා. මේ ගමදුවට වයස අවුරුදු 24 ක් විතර වෙනකොට ගමදුව කල්පනා කලා තව දුරටත් නිදහසේ දුව පැන නට නටා ඉඳල හරියන්නෙ නැහැ, මමත් මොනවා හරි වැඩක් කරන්න ඕනෑ කියල. ගම දුවගේ තාත්ත, ගමරාල බොහොම මහන්සි වෙලා වැඩ පල කරපු කෙනෙක් නිසා මේ අයට කිසි දේකින් අඩුපාඩුවක් තිබුනෙත් නැහැ. ඒත් ඉතිං කොහොම හරි අපේ ගමදුව තීරණය කලා ගමේ ගුරුතුමා ලඟට ගිහින් ගුරුතුමාගේ වැඩ වලට උදවු කරන්න.  

ඔන්න ඔය කාලේ තමයි තවත් ඈත ගමක ඉඳල බොහෝම කෙසඟ තරුණයෙක් මේ ගමට ඇවිදගෙන ආවේ. මේ තරුණයා ඇවිත් තිබුනේ ගමේ වෙද මහත්තය ගෙන් වෙදකම් ටිකක් ඉගෙන ගන්න. අපේ ගමදුවගේ ගමට එන්න කලිනුත් මේ ආගන්තුක තරුණයා වේද හෙද කම් ටිකක් දැනගෙන හිටියා. ඉතිං මේ අලුතෙන් ආපු තරුණයා ගමේ දන්න අඳුනන කිසිම කෙනෙකුත් නැති නිසා දවසක් හවස ගුරු ගෙදර පැත්තේ ආව. එදා තමයි මේ කෙසඟ තරුණයා තමන්ගේ ජීවිතේදී දැකපු ලස්සනම තරුණිය දැක්කේ. එ තමා අපේ ගමදුව. ගමදුව කිව්වට මේ වෙනකොට එයා වයස 24 ක විතර තරුණියක්නේ. දැකපු මුල්ම දවසේ මේ තරුණයට ගමදුව ගැන ආදරයක් හිතුනද කියලනම් දන්නේ නැහැ, ඒත් ඒ දෙන්නා බොහොම වෙලාවක් කතා කරමින් හිටියා. කොච්චර කතා කලත් ගමේම හැදුන ගමදුව මේ තරුණයට තමන්ගේ නම කිව්වේ නැහැ. වෙද ගෝලයා ගමදුවගේ නම දැනගත්තේ ඊට අවුරුදු 21 කට පස්සේ. සමහර වෙලාවට මේ ලස්සන ගමදුව කිංකිණි නදින් හිනා වෙන කොට අර තරුණයට දුකකුත් හිතුණා. ඇයි දන්නවද? ඒ තරුණයා කෙසඟයි වගේම කොහොමටවත්ම කඩවසම් නැහැ. හිතාගන්නකෝ පබාවතියි කුස රජ්ජුරුවොයි වගේ කියල. හැබැයි කුස රජ්ජුරුවන්ගෙයි මෙයාගෙයි තිබුන වෙනස තමා මූණ කැවුමක් වගේ නොවී හූනෙක් වගේ වෙච්ච ඒක. ඒ වගේම මේ තරුණයත් අපේ ගම දුව වගේම නැතත් ටිකක් පැහැපත්.

එදා රෑ ආපහු වෙද ගෙදරට ගිහින් මේ තරුණයා තමන් දැකපු රාජ කුමාරිකාවක් වගේ ලස්සනම ලස්සන ගම දුව ගැන නින්දක් වත් නැතුව කල්පනා කලා.

කවුද දන්නේ අපේ ගම දුවටත් එහෙමම වුනාද කියල, නේද?. ඉතින් දන්නා කෙනෙක් ඉන්නවනම් පහලිං ලියල යන්නකෝ.

(මතු සම්බන්ධයි)

ප: ලි: සමහර විට ඔයා මේ කතාව අහලත් ඇති. ඒත් කමක් නැහැ, කියවල බලන්නකෝ. කවුද දන්නේ මේ කතාව කොහොම කෙලවර වෙයිද කියලා, නේද? මමනම් කැමතියි "ඊට පස්සේ ඒ ගොල්ලෝ ගොඩාක් සතුටින් බොහෝම කාලයක් ජිවත් වුණා" කියලා ඉවර වෙනවනම්. ඒත් හැම කතාවක්ම එහෙම ඉවර වෙන්නේ නැහැනේ.  නේද?

මේ කතාව ලියන්නේ මම නිසා බලමුකෝ...හැමදාම වරද්ද ගත්තා වගේ වරද්ද නොගෙන ඉන්න... ඉස්කොලේ හාමිනෙත් මට උදවු කෙරුවොත් ඒ වගේ සතුටුදායක අවසානයක් මේ කතාවට එකතු කරන්න පුළුවන් වේවි. 

2 comments:

  1. මේ පෝස්ට් එක දාපු දවස් වල මේකට කමෙන්ට් කරන්න පුලුවන් උනානම්..

    ReplyDelete
  2. අනිවා.. කෙල්ලට කොල්ල ගැන හිතෙන්නම ඇති..

    ReplyDelete