Wednesday, December 21, 2011


ඉතිං ඊට පස්සේ...

වෙද ගෙදර හිටපු තරුණයා ඒ වෙනකොටත් කුස රජ්ජුරුවෝ පබාවතී පැතුවා වගේ, ගම දුව තරම්ම ලස්සන නැති වුනත් තව දැරිවියකගෙන් ප්‍රතික්ෂේප වෙලා තමයි හිටියේ. ඔය අතර වාරයේ ගමදුව ගැනත් උන්නැහේගේ හිතේ ආදරයක් ගොඩ නැගෙන්න ඇති. ඕවා ඔය තරුණ කාලෙට කාගේ උනත් හිත්වල ඇතිවෙලා සමහර විට ඒ වගේම ඉක්ක්මනට නැතිවෙලා යන අදහස්නේ. අපේ පරණ ගම් වල හැටි කියන්න, මේ දෙන්නා ඊට පස්සෙත් එකම එක දවසක් විතරයි මුණගැහිලා කතාබහ කරලා තිබුනේ, මුළු ගමේම උදවිය මේ ගැන අහන්න ගත්තා. වෙද පුහුණුවට ඇවිත් නතර වෙලා හිටපු ගෙදර උදවිය තමයි මේ ගැන බොහෝම උනන්දු උනේ.

කොහොමින් කොහොමින් හරි වෙද ගෝලයා ගම දැරිවි ගැන බොහෝම ඉක්මනට බලාපොරොත්තු ඇතිකර ගත්තා. මිනිහා මේ ගැන ගම් දනවු ගණනාවක් දුර හිටපු මිනිහගේ දෙමාපියන්ටත් දන්වලා කටයුතු එකලාසයක් කරගන්න පවා හීන මැවුවා. සමහර විට ගම දුව ගේ ලස්සන හිනාවට හරි එහෙමත් නැත්නම් බොහෝම ලස්සනට හිත ඇද ගන්නා විදියට කතා බහ කල නිසා හරි වෙද ගෝලයා ගමදුවට මුළුමනින්ම වශී වෙලා වගේ හිටියේ.

හැම සුරංගනා කතාවකම නපුරු මන්තර කාරියෙකුත් ඉන්න එපායැ. මේ දෙන්නටත් ඒ වගේ දෙයක් වුනා. අපේ ගම පවුල ජිවත් වුන ගමේම, අපේ ගම දුව කාලේ ගෙවා ගන්න ගිය ගුරු ගෙදරම තමා ඔන්‍න‍ ඔය කියන මන්තරකාරිත් හිටියේ. මේ මන්තතරකාරි තමයි මේ ගම දුවවයි වෙද ගෝලයවයි මුණ ගස්සුවෙත්. එහෙනම් ඉතිං මොකක්ද නපුරුකම? ඉන්නකෝ කියනකම්.  

අපේ ගම දුව වගේම වෙද ගෝලයටත් නොහිතුණා නොපෙනුනාමත් නෙවෙයි... මේ දෙන්නා අතරේ කවදාවත් වෙනස් කරන්න බැරි නොගැලපීමක් තිබුනා. අද කාලේ වගේ නෙවෙයි ඔය ඉස්සර කාලේ, ගම්වල උදවිය ඔයවගේ නොගැළපීම් ගැන හරි බයයි. ඉතිං මොකක්ද දන්නවද උනේ? අනේ මේ දෙන්නා ආදයෙන් බැඳුනා වුනත් අර නොගැලපීම දැනගත්ත ගමදුවට කරකියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව ගියාලු.

බලන්න මන්තරකාරී කරපු නපුර. මෙච්චර දවසක් කැලේ කොලේ ඇලේ දොලේ වන වදුලේ සමනලියක් වගේ දුව පැන ඇවිද කෙලි දෙලෙන් හිටපු ගම දුවගේ හිතට ප්‍රශ්නයක් ඇති කලා. එහෙම කරපු මන්තරකාරී ඊට පස්සේ ගම අතහැරලා ගියා. තවත් ගමක තවත් මේ වගේම අහිංසක සුරන්ගනාවියකට සාප කරන්න යන්න ඇති. ඔය සාපය එතනින් ඉවර උනෙත් නැහැ.

මේ දෙන්නා ගේ තිබුන නොගැලපීමයි ගම දුවටයි වෙද ගෝලයටයි මොකද උනේ කියලා අනිත් දවසේ ලියන්නම්.

(මතු සම්බන්ධයි)  

No comments:

Post a Comment